Friday, August 26, 2011

Filled Under: , ,

සෝලියස් මැන්දිස් නම් වූ මහා සිත්තරාණෝ


විසිවැනි සියවසේ මුල්භාගය යුරෝපා ආභාෂය තදින්ම ශ්‍රී ලංකාවට බලපෑ සමයක් විය. දේශීයත්වය වෙනුවට විදේශීය විවිධත්වය අගැයීම එම යුගයෙහි ප්‍රචලිතව පැවතිණි. හෙළ සිතුවම් සම්ප්‍රදායද ඒ මඟ ඇදීයමින් ස්වභාවික දේ එලෙසම ඇඳීමේ යුරෝපා ශෛලියටම යොමුවී පැවතියේ ය. එහෙත් පෙරදිග සම්භාව්‍ය සම්ප්‍රදාය වූයේ ද ලාංකේය අනන්‍යතාව වූයේ ද ස්වභාවිකත්වය ඇසුරින් නිර්මාණාත්මක සිතුවම් කලාවක් බිහිකිරීමයි. එවන් සමයක විප්ලවවාදී සද්කාර්යයකට පුරෝගාමී වූ සිතුවම් ශිල්පියකු වූයේ කලාගුරු වලිමුණි සොයිලියස් (සෝලියස්) මැන්දිස් මහතා ය.
1896 ජූලි මස දොළොස්වැනි දින මාදම්පේ මහ බද්දේගම උපන් (සොයිලියස්) සෝලියස් මැන්දිස්ගේ පියා වූයේ ආයුර්වේද වෙද මහතෙකුවූ වලිමුණි සිරිනේලිස් මැනිදිස් මහතා ය. සිරෝ මැන්දිස් මහත්මිය සෝලියස් මැන්දිස් ගේ මෑණියන් විය. ඔහුට සහෝදර සහෝදරියන් අටදෙනෙක් විය. පිරිමි සොහොයුරන් වූයේ කොමලිස්, ලයලිස්, යුවලිස්, සරාලිස් සහ දාර්ලිස් ය. සොහොයුරියන් තිදෙනා වූයේ නේලිස්, ත්‍යාගරුචි සහ සේරා ය. දෙමාපියන්ගේ අදහස වූයේ ළදරු සොයිලියස් (සෝලියස්) වෛද්‍යවරයකු කිරීම ය. එබැවින් පියාණන් විසින් දරුවාට වෙදකම ද ක්‍රම ක්‍රමයෙන් දායාද කරන්නට විය.
සොයිලියස් (සෝලියස්) සිසුවාගේ මුල්ම පාසල වූයේ මාදම්පේ ක්‍රිස්තියානි පාසලයි. සත්වැනි පන්තිය දක්වා එහි ඉගෙනුම ලැබූ ඔහු අනතුරුව
නාත්තන්ඩිය වීරසේන විද්‍යාරතන පිරිවෙනට ඇතුළු විය. එහිදී ඔහුගේ එක් ගුරුවරයකු වූයේ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ ය. විද්‍යාරතන පරිවෙනෙන් සොයිලියස් (සෝලියස්) මැන්දිස් පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ ය.

සොයිලියස් මැන්දිස් සිතුවම් කළ කැලණි විහාරයේ බිතු සිතුවමක්
ඒ අතරතුර මාවිල පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ වෙද හාමුදුරුවන්ගෙන් වෙදකමද ඉගෙනීම කළහ.
සිතුවමට ඔහුගේ සිත නැඹුරු වූයේ ඥාතියකු වූ මෙමෝනිස් ද සිල්වා ඇතුළු ශිල්පීන් කිහිප දෙනෙකු විසින් එම කාලයෙහි මාවිල විහාර බිතුසිතුවම් නිර්මාණය දුටු බැවිනි.
කුඩා කළ පටන් තිබූ ආශාවක් මුදුන් පමුණුවා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ මෙමෝනිස් සිල්වා විසින් එම කලා කටයුතු සඳහා සොයිලියස් (සෝලියස්) ද සහභාගි කරවා ගත් හෙයිනි. සිතුවමට මෙන්ම ඇඹීම් කටයුතු කෙරෙහිද ඔහුගේ සිත යොමු වූයේ මාවිල විහාරයෙහි මූර්ති කලාවන් දැකීමෙනි. එතැන් පටන් ඔහු විහාර කර්මාන්තයෙහි නියැලුණු සිත්තරෙකු විය.

තරුණ සොයිලියස් (සෝලියස්) මැන්දිස් කලාකරුවා විසින් මූර්තිමත් කරනු ලැබූ මතු බුදුවන මෛත්‍රී බෝධිසත්ව රුව තේජාන්විත ලීලාවෙන් මාවිල විහාරස්ථානයේ අදද සුරැකිව ඇත. මෙම සුවිශේෂී බෝධිසත්ව රුවෙහි සළුපිළි, මිරිවැඩි සඟල, ආභරණ හා කිරීටය ආදී සියලු දෙයක්ම ඉතා සියුම් කැටයමින් සරසා ඇත.
ආධුනික සිත්තරකු ලෙස ඔහු තුළ තිබූ චිත්ත ඒකාග්‍රතාව මාවිල බෝසත් රුව විමර්ශනය කරන විට පෙනී යයි. මාවිල විහාරස්ථානයේ කලා කර්මාන්තයන්ගෙන් අනතුරුව සොයිලියස් (සෝලියස්) සිත්තරා පොළොන්නරුව ශ්‍රී ජය විහාරය, උඩුබද්දාව විහාරය, මල්වානේ ලෙනගම්පල පුරාණ විහාරය හා ගිරිඋල්ලේ මැද්දෙපොල යන විහාරස්ථානවල චිත්‍ර හා මූර්ති කර්මාන්තයන්හි යෙදී ඇත. ගිරිඋල්ල මැද්දේපොල විහාරස්ථානයේ බිතුසිතුවම් නිමකළ සොයිලියස් (සෝලියස්) සිත්තරා එම සිතුවම් වලට යටින් ඔහුගේ අත්සන හා 1922 වර්ෂය යොදා ඇත.
මැද්දේපොල විශේෂත්වය වන්නේ එහි මූර්ති කලානිර්මාණයන් ය. එම මූර්ති තුළින් මතුවන්නේ සොයිලියස් (සෝලියස්) මැන්දිස්ගේ නිදහස් බෞද්ධ කලා ආරේ අනන්‍යතාවයි.
එම සිත්තරාගේ සම්භාව්‍ය නව කලා ආරේ ස්වර්ණමය සමය වන්නේ කැලණියේ නව විහාරයේ බිතු සිතුවම් ඇඳි කාලයයි. කැලණි නව බිතු සිතුවම් ඇඳීමේ කාර්යය ඔහු වෙත පැවරීම මුළු මහත් ජාතියේම වාසනාවට සිදුවූවක්ම විය. මහින්දාගමනයෙන් පසු විසි එක්වන සියවස තෙක් ඇඳුනු සිංහල බෞද්ධ සිතුවම් කලාවේ විශිෂ්ටතම නිර්මාණ ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ කැලණි නව විහාරයේ බිතු සිතුවම් සමූහයයි.
කැලණි නව විහාරය කරවූ හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසින් එය සිතුවම් හා මූර්තියෙන් විසිතුරු කිරීමට සුදුසුම කලා ශිල්පියා ලෙස සොයිලියස් (සෝලියස්) මැන්දිස් තෝරා ගෙන ඇත. සිත්තරාගේ සංස්කෘත, පාලි හා සිංහල භාෂා දැනුමත් ඉතිහාසය හා බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයත් විජයවර්ධන පවුලේ ප්‍රසාදයට හේතු වී ඇත. තැන්පත් නුවණින් හා මනා ශිල්පීය නිපුණතාවයෙන් යුතු සෝලියස් මෙන්දිස් කැලණි විහාර නව කලා කර්මාන්තය භාරගෙන ඇත්තේ දොහොත් මුදුන්දීමෙනි.

කැලණි නව බිතුසිතුවම් ඇඳීමට පෙර ශිල්පියා විජේවර්ධන පවුලේ අනුග්‍රහය මත භාරතීය චිත්‍රකලා නිර්මාණ අධ්‍යයන චාරිකාවක යෙදී ඇත. පෙරදිග සම්භාව්‍ය කලාවේ විශිෂ්ටතම නිදසුන් සමූහයක් සහිත අජන්තා, එල්ලෝරා හා භාග් යන ස්ථාන නැරඹීමට ඔහුට අවස්ථාව ලැබුණේ එබැවිනි. අතිශය සියුම් වූ නිරීක්‍ෂණයෙන් යුතු වූ ඔහු එම නිර්මාණයන්හි භාව පූර්ණ ගුණය පරිකල්පනයෙන් හා දේශීය අනන්‍යතාවයෙන් යුතුව හෙල බොදු කලා මගෙහි සලකුණු කළේ කැලණි පුදබිමෙහි ය.
භාරතීය චාරිකාවෙන් පසු ඔහු තුළ සිදු වූ අධ්‍යාත්මික විපර්යාසයට නිදසුන් වන්නේ හුදු සරල සිතුවම් කරණයෙන් මිදුණු ගැඹුරු සෞන්දර්ය රසාස්වාදයකට තුඩුදෙන නව කැලණි විහාර බිතු සිතුවම් සමුදායයි. ලක්දිව ඓතිහාසික චිත්‍ර කලාවක් ආසියානු සම්භව්‍ය කලාවත් සංකලනය කළ ඔහු තමන්ටම ආවේණික වූ ආත්ම ප්‍රකාශනයක් කැලණි චිත්‍ර හා මූර්ති කලාවෙන් නිරූපණය කළේ ය. තුරුණු වියෙහි සිට එනම් තිස්වැනි වියෙහි සිට දහඅට වසරක් පුරා තම දිවියේ සොඳුරුතම අවධියක් විහාර සිතුවම් කලාව වෙනුවෙන් කැපකරන්නට මෙම අසහාය සිත්තරා සමත් විය. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ පින්බිම බැබලවීමට තරම් වූ ප්‍රභාවයක් කැලණි විහාර නව බිතුසිතුවම් තුළ මුසුවන්නේ එබැවිනි. වසර දහඅටක් පුරා පලංචි මත උඩුබැල්ලෙන් දිගාවී සියුම් තෙළිතුඩින් මාහැඟි සිතුවම් සමූහයක් කළ සෝලියස් සිත්තරු කැලණි නව විහාරය බෞද්ධ සිතුවම් කලාගාරයක් බවට පත්කොට ඇත.
එකල ලක්දිව ආණ්ඩුකාර පදවිය ඉසිලු කැල්ඩිකොට් නම් ප්‍රභූවරයාද සෝලියස් මැන්දිස්ගේ සිතුවම් ඇඳීමේ කාර්යය නැරඹීමෙන් මහත් ප්‍රසාදයට පත්ව ඇතැයි පැවසේ. බොහෝ පන්සල් වල මෙන් ඒකාකාරී ලෙසින් ජාතක කථා ඇඳීමක් කැලණි සිතුවම් වල නොමැත. ඒ වෙනුවට සම්බුදු සසුනෙහි ඓතිහාසික සිදුවීම් මාලාවක් බොදු සිත් පහන්වන හැඟුමින් යුතුව සිතුවම් වී ඇත. කැලණි වෙහෙර පිළිබඳ ඉතිහාසය, ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම, විහාර මහා දේවියගේ කථාපුවත, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවීම ආදී ඓතිහාසික පුවත් ගුරු, දුඹුරු හා අඳුරු කහ යන වර්ණ ප්‍රභේද සංයෝජනයෙන් අපූර්වත්වයෙන් යුතුව චිත්‍රණය කොට ඇත.
බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය, චූලෝදර, මහෝදර යුද්ධය ආදී පුවත් දැක්වීමේ දී අභිමානවත් බවද සංයමයද මැනවින් මුසුව ඇත. කැලණි සිතුවම් වර්ණ ගැන්වීම සඳහා ශිල්පියා යොදාගත්තේ දේශීය අමුද්‍රව්‍යයන් වූ මකුළු මැටි ස්වභාවික කොළ, මල් හා කැඩුනු බිත්තරවල සුදු මදයයි. සිතුවම් කරණයේ දී ශිල්පියා ගේ අපේක්‍ෂාව වී ඇත්තේ බෞද්ධයන් තුළ බුදුගුණ පිළිබඳ ආනන්දනීය හැඟුමක් ඇති කොට ඔවුන් ප්‍රඥාව කරා යොමු කරවීමයි. පෙර අපර දෙදිග කලාශිල්පීන්ගේ අපේක්‍ෂාවන් අතර කිසියම් ප්‍රතිවිරෝධයක් ඇතිවන්නේ ද මෙම අපේක්‍ෂාවන් තුළිණි. ආනන්දයෙන් ප්‍රඥාව වෙත රසිකයා යොමුකිරීම පෙරදිග සම්ප්‍රදාය වූ නමුත් අපරදිග සම්ප්‍රදාය ආනන්දය වෙතම ජනතාව යොමුකිරීමයි.

බොදුජනතා ශ්‍රද්ධා භක්තිය වර්ධනයද සංස්කෘතික පුනර්ජීවනයක් ඇතිවීම ද කැලණි සිතුවමින් සිදුවන බව අවිවාදයෙන් පිළිගත යුතු ය. අතීත අභිමානවත් ජයග්‍රහණයෙන් ගේ සිහිවටන ජනතාවගේ හදවත් තුළ සදා නොමියෙන ලෙස තැන්පත් වන්නේ කැලණි විහාර මනරැඳි සිතුවම් නැරඹීමෙනි.
ලෝපසිඳු අද්විතීය සිතුවම් හා මැනවින් සැසදෙන්නා වූ කැලණි සිතුවම් නෙතරැඳි සියලු සිතුවම් අභිබවා යයි. මනරැඳි සොඳුරු සිතුවම් හා මුසුවූ බුදුගුණ කැලණි පුදබිම සිසාරා නිබඳව විහිද යයි. ඒ සෞම්‍ය වූ සිතුවම් තුළින් අප තුළ ඇතිවන්නේ හෙළ බොදු හැදියාවන් හා අනන්‍යතාවන්ගේ ජීවන රිද්මයයි. ඓතිහාසික වූත් විශිෂ්ට වූත් බෞද්ධ ශිෂ්ටාචාරයක් අපගේ මවුබිම සතු බව මතු පරපුරට පහාද දීමට මෙවැනි බිතු සිතුවම් ද මහෝපකාරී වේ. අපරදිග සංස්කෘතියක හැඟුම් බෙහෙවින් පැතිර ගිය සමයක මෙවැනි විප්ලවීය සිතුවම් සමූහයක් වසර ගණනාවක් පුරා මනා සංයමයකින් යුතුව ඇඳිය හැකි වන්නේ අභීත යුගපුරුෂයකුට පමණි. එය ඔහුගේ අධ්‍යාත්මික උත්කෘෂ්ටභාවයේ සංකේතයකි.
වරෙක භාරතීය මහා චිත්‍ර කලා විචාරකයකු හා විශාරදයකු වූ නන්දලාල් බොස් කැලණි බිතු සිතුවම් ඇඳීම සඳහා කැඳවනු ලැබ ඇත. එහෙත් සෝලියස් මැන්දිස්ගේ සිතුවම් දුටු නන්දලාල් බෝස් ප්‍රකාශ කළේ එම කාර්යයට සුදුසුම පුද්ගලයා මැන්දිස් සිත්තරා බවයි. සිංහල බෞද්ධ ජනතාවගේ හද හැගෙන රිද්මය හඳුනාගත හැකිවනුයේ දේශීය අනන්‍යතාවය ලද ශිල්පියෙකුට පමණක්ය යන්න එයින් සනාථ වෙයි. ගැමි ජනජීවන සුවඳින් ඔපවත් වූ ශිල්පියකු වූ සොයිලියස් (සෝලියස්) සිත්තරා සරමක් හැඳ කොණ්ඩය බැඳි, බුලත්විට සපන සාමාන්‍ය සිත්තර බාස් උන්නැහේ කෙනෙකු ලෙස නිර්ව්‍යාජව තම මුළු දිවියම නිහඬව ගත කළේ ය.
තෙල් සායම් හා දියසායම් චිත්‍ර පිළිබඳ ප්‍රවීණ ශිල්පියෙකු වූ මුදලිඳු ඒ.සී.ජී.එස් අමරසේකර මහතා කැලණි සිතුවම් පිළිබඳව මෙසේ පවසා ඇත. “අපේ සමකාලීන චිත්‍ර ශිල්පීන් අතුරෙන් ඉතාම විශිෂ්ට සේවය කර ඇත්තේ මැන්දිස් මහතා ය. කැලණියේ චිත්‍ර ඇඳීම ලේසිපාසු කාරියක් නොවේ. එයින් පලවන දේශීය කලා ආරට මගේ ගෞරවය පුදකරමි. වසර ගණනාවක් මුළුල්ලේ මුළු මහත් නිර්මාණ ශක්තියම සිතුවම හා මූර්තිය වෙනුවෙන් කැපකළ ඔහු අවසන් සමයේ ලෝපසිඳු මයිකල් ඇන්ජිලෝ මෙන්ම කටුක දුක්බර වේදනාවෙන් යුතු ගත කර ඇත. ඔහු තම අල්පේච්ඡ දිවිය තුළ ආබාධිත දරුවන් වෙනුවෙන් මහත් මෙහෙයක් ද ඉටු කළේ ය. එනම් 1950 වර්ෂයේ රුපියල් හත්ලක්‍ෂයක වියදමින් ආබාධිත දරුවන් වෙනුවෙන් නිවහනක් තනා පරිත්‍යාග කොට එහි නඩත්තුව සඳහා තම ඉඩම් අක්කර ගණනාවක්ද පවරා දීමයි. එය නම් වී ඇත්තේ සිවිරාජ ඇඳ බිහිරි පාසල නමිනි. හලාවත මහවැව දී එය විවෘත කරන ලද්දේ 1958 දී බණ්ඩාරනායක මැතිණිය විසිනි. තම එකම වාහනය වූ අංක 4 ශ්‍රී 7021 දරන මෝටර් රථයද ආබාධිත දරුවන්ගේ පරිහරණයට ත්‍යාග කිරීමට ඔහු තීර්ණය කළේ ය.
පසුව ආබාධිත ළමා නිවාසයට යාබදව කුඩා නිවෙසක් සාදාගෙන තම ගෝලයකු හා උදව්කරුවකු වූ සෝමපාල සමග එහි වාසය කළේ ය. මස්මාංශ හා දුම් වැටියෙන්ද වැලකී සිටි තැන්පත් පුද්ගලයකු වූ ඔහු දඩාවතේ ගිය බල්ලන් ගෙදරට ගෙනවිත් ආහාරපානාදියෙන් පෝෂණය කළේ කරුණාභරිතවය.
සීගිරි සිතුවම් පිළිසකර කිරීමට පැමිණි ඉතාලි ජාතික ලුෂියානෝ මරන්සි නම් මහා චිත්‍ර ශිල්පියාද වරෙක සෝලියස් මැන්දිස් සොයා මහවැව නිවසට ගියේ ය. ඒ වන විට ඔහු තම ගෙවත්තේ වගාවකට සාත්තු කරමින් සාමාන්‍ය ගැමියකු ලෙස ජීවත් වී ඇතැයි පැවසේ.
තම මුළු නිර්මාණ ශක්තියම යොදමින් ජාතියට, ආගමට, රටට මහඟු මෙහෙයක් කළ වලිමුණි සෝලියස් මැන්දිස් නම් වූ මහා සිත්තරාණෝ 1975 සැප්තැම්බර් මස පළමුවැනි දින මෙලොවින් සදහටම සමුගත්හ..
උපුටා ගැනුමකි
එම්. නිලන්ති මානෙල් ප්‍රනාන්දු 2008.09.22 - බුදුසරණ අන්තර්ජාල කලාපය

0 comments:

Post a Comment